දුමින්ද සිල්වාගේ අභියාචනය කැඳවයි

භාරත ලක්ෂ්මන් හේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධව මරණ දණ්ඩනය හිමිවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලු විත්තිකරුවන් හතර දෙනෙක් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලදී.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අභියාචනය විභාගයට ගැනුණි.

මෙහිදී විත්ති පාර්ශවය නියෝජනය කළ නීතීඥවරුන් මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ චෝදනාවක් බවට කරුණු දැක්වීය.

මරණීය දණ්ඩනය නියම වී සිටින චමින්ද රවී ජයනාත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙය සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක් බවට කරුණු දැක්වීය.එසේම ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්පූර්ණයෙන්ම පරස්පර යැයිද මුලුමනින්ම නීති විරෝධී නඩු විභාගයක් යැයිද ප්‍රකාශ කර සිටියේය.

අභියාචනය සම්බන්ධ වැඩිදුර විභාගය ජූනි මස 04 වනදාට කල් තැබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධව කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *